හවස නෑම
“බංඩයියා කහට එකක්?”
“හා දියන්කෝ එහෙනං ඩිංගිරිඅම්මා…”
ටොම් බංඩා බංකුවේ පුරුදු තැන වාඩිවුනේ කණුවට පිට හේත්තු කරගෙනයි. වයසට යනකොට ඇඟපත රිදෙන බව අනික් අයට ඒත්තු ගන්වන එක වේදනාවට සාත්තුවක් කරනවටත් වැඩිය වැදගත් බව බංඩා දන්නවා.
“රෑ වෙලා නාගත්තම ඇඟපතට ටිකක් අමාරුයි… හ්ම්… බීඩියකුත් ගනින්කෝ…”
හංදියේ කඩේ වැඩි සෙනගක් තවම නෑ අද. දනපාලලා, බිසෝගෙ කොල්ලා එහෙම ඇවිත් නෑ; මේ වෙලාවට හැමදාම වගේ ඉන්න අය. තව කීපදෙනෙක් කඩේට ගොඩවදින්න ඉස්සර වැඩි කතාබහකට බංඩා සහභාගි වෙන්නෙ නෑ. ප්රේක්ෂකයෝ නැතුව රඟපෑමෙන් වැඩක් නැති බව ප්රසිද්ධ නළුවෙකුටත් වැඩිය හොඳින් බංඩට තේරෙනවා. ඒ නිසා ඔහු බොන කහට කෝප්පෙට හිත සම්පූර්ණෙන්ම යොමුකළේ අමෘත පානයක් රස විඳින්නෙකු වගේ. කෝප්පේ බංකුව උඩ පරෙස්සමෙන් තැබුවේ ටිකිරිබංඩා දනපාලත් එක්ක වංගුවෙන් එනවා දැක්කැන් පසුවයි.
“දැන් බෑ බං ඉස්සර වගේ රෑ වෙලා ඇලේ පිහිල්ලට ඔළුව අල්ලන්ට… අද ඔය කරුවල වෙලා නෑවේ අවුරුදු දෙකකට පස්සේ!”
“මොකොදෑ අද නාන්ට හිතුනේ?”
මුදලාලී කැමතියි ඉක්මනට කතාව පටන් ගන්නවට. මිනිස්සු ගන්න ආපු බඩු වලට අමතරව තව තේ කෝප්ප කීපෙකුත්, හුලං විස්කෝතුත් බීඩි මිටියකුත් විකිනෙනවා හොඳ කතාවක් කියවෙන වෙලාවේ.
“නිලමෙගෙ වත්තේ කෙහෙල් පැල හිටෙව්වා… අර ලැයිමේ කොල්ලෝ තුන්දෙනෙක් දාලා. මටයි වැඩේ බලාගන්ට වුනේ”
“ලැයිමේ? දෙමළ කොල්ලෝ?”
“කවුරු මොක කිව්වත් වේලුගෙ පවුලේ එවුන් අපෙ උන්ට වඩා වැඩට හොඳයි”
කඩේ ඉන්න අය හුඟ දෙනෙක් මේ කතාවට විරුද්ධ වෙන බව බංඩා දන්නවා. එහෙම ගැටුමක් නැතුව කතාවක රසය අඩුවෙන බවත් මිනිහට තේරෙණවා. නමුත් අද කවුරුත් බංඩත් එක්ක විවාදෙට ආවෙ නෑ. ‘හොඳ මාතෘකාවක් අපතේ ගියා’ කියලා මිනිහට හිතුනා. ඒකයි ආයෙත් කතාව පටන්ගත්තේ.
“අර වැඩේ අදම ඉවර කරන්ට ඕන නිසා වැඩ නවත්තනකොට පහේ බස් එකත් ගිහින්! උදලු අලවංගු සෝදලා නාන්ට යනකොට ඉර බැහැලා. ආයෙ දාඩිය පෙරාගෙන හිටපු මං නොනා ඉන්ටයෑ - ඒකයි අකමැත්තෙන් හරි පිහිල්ලට ඔළුව ඇල්ලුවේ”
මුදලාලිත් දන්නවා කතාවට රුකුල් දෙන්න.
“බංඩයියා ඉස්සරවෙලත් කිව්වා අද රෑ වෙලා නෑවේ අවුරුදු දෙකකට පස්සේ කියලා… වෙදමහත්තයා කිව්වද රෑ නාන්ට එපා කියලා?”
“වෙදා? එයා ඇයි මට එහෙම කියන්නේ. මට ඉසෙන් බහින රෝගයක් නෑ බං… දැන් අවුරුදු දෙකකට ඉස්සර සිද්ධවුන දෙයක් හින්දා තමයි මම රෑට නාන්ට යන්නෙ නැත්තේ”
තේ උගුරකුත් බීඩි උගුරකුත් ඇති සභාවේ අපේක්ෂාව නංවන්න.
………………………………
එදා කිරිඅම්මගෙ කුඹුරේ හීය (බංඩා කතාව පටන්ගත්තා).
ඒ කාලෙවත් මම ගොන් බානක් පස්සේ දිව්වෙ නෑ. මම කරේ හාලා ඉවර ලියදිවල නියර හදන එක; දැත්ත ගහලා නියර හදන එක උරහිස් දෙකට තමා අමාරු… දැන් නම් ඒකත් කරන්ට බෑ මට (පොඩි හිනාවක්) මගෙ කොන්දත් එක්ක.
මගෙ වැඩ ටික ඉවර වෙනකොට ඉර බහින වෙලාව. හාපු මිනිස්සුයි උදැල්ලෙන් කොටපු මිනිස්සුයි එතකොට මී හරක් නාවලා උදලු එහෙම සෝදාගෙන ගිහින්. එතන ඔයෙන් නාගන්නෙ නැතුව මම ආවා අපේ පහල ඇලේ පිහිල්ලට. අපෙ පිහිල්ලට වැඩිය ගමේ ඈයො එන්නෙ නෑ. මම නනා ඉන්නකොට ආවේ එකම මිනිහයි.
එයත් කුඹුරු වැඩ ඉවර කරලා ආපු බව ඇඳුමෙන් පෙනුනා. හැබැයි මම දන්න කෙනෙක් නෙවෙයි - උඹලට මතකනේ කුඹුරු වැඩ කාලෙට පිටගම් කාරයෝ නිතරම මෙහෙ ආවා දවසේ පඩියට. දන්නවානේ මම ඕන කෙනෙකුට කතා කරන මිනිහෙක් කියලා.
“හොඳ වතුර ටික, දවසේ වැඩ ඉවර කරාට පස්සේ!”
“ඒක ඇත්ත නිලමේ - හොඳ වතුර ටික”
සමහරවිට මිනිහා මට වඩා සෑහෙන්ට බාල වෙන්ට ඇති. මට හොඳට කතා කරා - වයසට ගරු කරලා වගේ. මම මිනිහගෙ නම අහන්ට ගියෙ නෑ. අපි කතා කරේ කුඹුරු වැඩ ගැන.
“ඊලඟ පසලොස්වකට වත් වහීද දන්නෙ නෑ”
“මොනවා කියනවද නිලමේ අපෙ වේල්ලේ වතුර ඇඟිල්ලක් විතර එන්නේ! තව මාසයක් පෑව්වොත් මොනවා වෙයිද මන්දා”
“ඔයේ කුඹුක්ගහ අමුණට උඩින්ද කුඹුර?”
“ඒකනේ නිලමේ කියන්නේ. අපිට වතුර එන්නේ කදුරු ඇලෙන්. අපි කොච්චර කිව්වද අමුණ ඊට උඩින් බඳින්ට කියලා. කොහෙද? වාරිමාර්ගේ අය ග්රාමසේවකයත් එක්ක කතා කරලා එතන අමුණ හැදුනේ!”
“ඉතින් ග්රාමසේවකට බෑ නේද එහෙම තීරණ ගන්ට?”
“පගා අරගෙන කොස් ගස් කපන්ට දෙන එකෙකුට බැරියෑ තව එක එක උන්ට පගා දෙන්ට!”
මම වැඩිය කතා කරන්ට කැමතිවුනේ නෑ ඔය වතුර බෙදන පලහිලව් ගැන. එකක් ඒ අමුණ අපෙ ගමේ නෙවෙයි. ඒ අපෙ ග්රාමසේවකත් නෙවෙයි. ඊටත් වැඩිය මිනිහා කියන අමුණු ගෝරිය අපෙ ගමට පහලින් තියෙන එකක්. ඒකෙන් අපෙ වතුර බෙදීමට කරදරයක් වෙන්නෙ නෑ. හැබයි මට ඕනවුනා මිනිහට පෙන්නන්න මම එයාගෙ කරදර සුළුයි කියලා ගනණට නොගෙන ඉන්න කෙනෙක් නෙවෙයි කියලා.
“කරදර තමයි ඉතින්…”
“මොනවා කියනවද? අපෙ ග්රාම සේවකයා මගේ මස්සිනා වෙලත් ඌට ගානක් නෑ අපිට වෙන දේ ගැන…”
ඒ සැරේ මොකුත් නොකියා ඉන්ට මම පරෙස්සම්වුනා. මස්සිනාලගෙ හුටපට වලට ඇඟිලි ගහන්ට ගියොත් මටමයි කෙලවෙන්නේ කියලා මං දන්නවා. තමා තමංගෙ උන්ට කොච්චර බැන්නත් පිට එකෙක් ඇවිත් උන්ට බැන්නොත් තරහ යනවා යනවාමයි. මට අප්ප්ච්චිත් එහෙමයි කියලා තියෙන්නේ. ඉතින් මං බැලුවා වෙන ගෝරි නොවැටෙන මාතෘකාවක් ඇදගන්ට.
“මේ ලයිෆ්බෝයි සබන් තියෙනවා නේද - ඇඟට බොහොම හොඳයි කියනවා”
මිනිහා මා කී දේ ගැන ටිකක් හිතුවා.
“කවුද නිලමේ එහෙම කියන්නේ?”
“රේඩියෝ එකේ කිව්වේ”
“එහෙනං එහෙම කීව්වේ ඒවා හදන එවුන් වෙන්ට ඇති!”
“ඔවු ඉතින් - ඒකේ හොඳ නරක උන් දන්නෙ නැත්තං ආයෙ කවුද දන්නේ?”
කිව්වට මොකද මං හිතුවේ ඒක හොඳ විහිළුවක් කියලා. නමුත් මිනිහා මා දිහා අමුතු විදිහට බැලුවා.
“නිලමේ මගෙ මස්සිනා ගැන කතා කරන්ට කැමති නෑ වගේ, සබන් කතාවක් පටන්ගත්තේ!”
මට හිනා ගියා. මිනිහා මෝඩයෙක් නෙවෙයි.
“මෙයා දන්නවා ඇති නේ අනික් අයගෙ පවුලේ කට්ටියගෙ වැරදි කියලා නරකක් මිස හොඳක් වෙන්නෙ නෑ කියලා!”
ඒ සැරේ මිනිහත් හිනාවුනා. හිනා වෙනකොට මිනිහගෙ මූණේ සැර ගතිය අඩුවුනා - සමහරවිට හඳ එලියට වෙන්ට ඇති.
“මම නිලමේ දන්නවා… මගෙ නම ඩිංගිරි බංඩා…”
“මං තොමස් බංඩා… මේ ගමේ අවුරුදු හැටක් විතර මතක හැටියට… මේ ඩිංගිරි බංඩෙගෙ උපන් ගමද?”
“නෑ… අපෙ අප්පච්චිලා නාවලපිටියේ. මම මෙහෙ ඇවිල්ල තාම අවුරුදු තුනයි!”
මට ඩිංගිරි බංඩා ගැන වැඩිය දැනගන්ට ආසාවක් තිබුනෙ නෑ. ඒ වෙනකොට මම නාලත් ඉවරයි.
“පංකාදු වතුර ටික. දවසක් කුඹුරේ වැඩ කරලා ඇලේ නාගන්න එක හරි සනීපයි”
“හ්ම්… මාත් ඉස්සර කැමතියි… දැන් එච්චර බෑ, සීතල වැඩියි”
“එහෙනං බංඩේ දැන් ඔය නෑවේ? … ඔවු හැබැයි මඩේ වැඩ කරපුවහම නොනා බෑ තමා”
“කොච්චර සීත වුනත් පරණ පුරුද්ද නේ නිලමේ!”
මෙතන ඇලේ නාන ගමන් නාන්ට වතුර සීතල වැඩියි කියන කතාවෙන් මට තේරුණේ නාවලපිටිය පැත්තේ නිතර ඇලෙන් නාන පුරුද්ද අතාරින්ට බැරුව මෙහෙදිත් නානවා වෙන්ට ඇති කියලා.
“නාවලපිටිය පැත්තේ මීටත් වැඩිය සීතල ඇතිනේ”
“අපොයි ඔවු… එහෙදී මම රෑවෙලා නාන්නෙම නෑ”
මට හිතුනා ඩිංගිරි බංඩට පොඩි අප්සෙට් එකක් තියෙනවා කියලා. ‘පරණ පුරුද්දට’ නානවා කිව්වට එහෙදී හවස නාලා නෑ. මම උඩහට එන්ට සරමත් ඇඳගෙන ආයෙත් කතා කරා.
“පරණ පුරුද්ද කිව්වේ පහුගිය තුන් අවුරුද්දෙද?”
“මේ පෙරේදා වෙනකං!”
“මොකද අප්පා පෙරේදා වුනේ?”
ඩිංගිරි බංඩා හිනාවුනා.
“මහ ලොකු දෙයක් නෙවෙයි - කවුරු මොනවා කිව්වත්. මං එහෙම කිව්වා කියල අමතක කරලා දාන්ට නිලමේ”
මාත් හිනාවෙලා සෝදපු මඩ ඇඳුමයි උදැල්ලයි අතට ගත්තා. පිටත්වෙන්ට ඉස්සර එකම අවවාදයක් දුන්නා.
“මස්සිනා එක්ක රංඩු නොකර කුඹුරට වතුර ගන්ට බැලුවොත් නරකද? තමංගෙම කට්ටියනේ”
මිනිහගෙ මූන අඳුරු වුනා - හොඳටම තරහ ගියා වගේ.
“තමංගෙම? නිලමේ ඒකා අපෙ අක්කා බැන්දට අමුහොරා… ඌ අපෙ එකෙක් නෙවෙයි… ඒකත් එක්ක කතා කරනවට වැඩිය ඌට වෙඩි තිබ්බනං අපි සේරටම හොඳයි කියලා මං කියන්නේ!”
“එහෙම කියන්ට එපා ඩිංගිරි බංඩෝ. ඔව්වා නිකමටවත් කියන්ට හොඳ දේ නෙවෙයි”
මිනිහා ආයෙත් හිනාවුනා.
“නෑ නෑ නිලමේ - මං ඌට වෙඩි තියන්නෙ නෑ. ඌට වගේ මට තුවක්කුවක්වත් නෑ!”
…………………………..
බංඩා දිග හුස්මක් ඇරියා. සීතලවීගෙන යන තේ කෝප්පෙන් උගුරක් බීලා නිවිලා ගිය බීඩිය ආයෙත් මොලවා ගත්තා.
මුදලාලිට හිතුනා බංඩගෙ කතාවක් මෙහෙම බයාදු විදිහට ඉවර නොවෙන බව. නමුත් ඒ ගැන කිසි දෙයක් නොකිව්වේ බංඩයියා නියම වෙලාවට කතාවේ ඉතිරි ටික එළිදරව් කරන බව දන්න නිසයි. දනපාලට එහෙම ඉවසුමක් නෑ. තමාත් ‘කතා කාරයෙක්’ යයි සිතන දනපාල කෙලින්ම ගරුසරු නැති ප්රශ්නයක් ඇහුවා.
“ඉතින් ඒ මිනිහා හිතේ තරහක් තියාගෙන හිටියා කියලා බංඩයියා බයේද රෑ වෙලා නාන්නෙ නැත්තේ?”
බංඩා තවත් බීඩි උගුරක් උරලා දනපාල දිහා කෙලින්ම බැලුවා.
“දනපාල දන්නවද ඔය ඩිංගිරි බංඩා කියන මිනිහා”
“නෑ - මේ ගමේ නෙවෙයි නේද?”
“උඹලට මතකද මීට අවුරුදු දෙකකට ඉස්සර ග්රාමසේවක කෙනෙක් තමංගෙ මස්සිනා වෙඩිතියලා මැරුව කතාව?”
මුදලාලිගෙ පවුලට මේවා හොඳට මතකයි.
“ඔය කියන්නේ කදුරුකන්දේ මිනීමැරීම නේද? ඒ ග්රාමසේවකයා හිරේ… බංඩයියා හම්බවෙලා කොච්චර කාලෙකට පස්සෙද මිනිහා වෙඩි කෑවේ”
ටොම් බංඩා උත්තර දුන්නේ බොහෝම හෙමින්, බිම බලාගෙන.
“මාත් එක්ක නාන්ට දවස් දෙකකට ඉස්සරවෙලා වෙඩි කාලා මැරුනේ”